නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දමයි

December 01, 2023 - 8:54 AM
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි කල්‍යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ සිදු කෙරෙන නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව, පළමු අදියර යටතේ දෙසැම්බර් 01 දින ප.ව 9.00 සිට දෙසැම්බර් 04 දින පෙ.ව 6.00 දක්වාත්, දෙවන අදියර යටතේ දෙසැම්බර් 08 දින ප.ව 9.00 සිට දෙසැම්බර් 11 දින පෙ.ව 6.00 දක්වාත් එම පාලම වසා දැමෙනු ඇති.

එමෙන්ම තුනවන අදියර යටතේ දෙසැම්බර් 15 දින ප.ව 9.00 සිට දෙසැම්බර් 18 දින පෙ.ව 6.00 දක්වා ද නව කැලණි පාලම වසා දැමීමට නියමිතයි.

මාර්ග සංවර්ධන අධිකාරිය පැවසූවේ නව කැලණි පාලම ව්‍යාපෘතියේ සියලු ඉදිකිරීම් මේ වනවිට අවසන්ව ඇති බැවින් කොන්ත්‍රාත් සමාගම නිදහස් කිරීම සඳහා එහි සියලු වගකීම් නැවත සමාලෝචනය කිරීමේ අදියරට පැමිණ ඇති බවයි.

ඒ හේතුවෙන් කොන්ත්‍රාත්තුව ප්‍රකාරව එහි කාර්යයන් කිහිපයක් අදාළ සමාගම ලවා නැවත සකස් කර ගැනීමට ඉඩකඩ පවතින බවයි එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටියේ.
(lknews.lk)