පළාත් පාලන මැතිවරණය සඳහා භාරදුන් නාමයෝජනා අවලංගු කරයි

September 22, 2023 - 9:17 AM
පළාත් පාලන මැතිවරණය සඳහා භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා.

මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් ඒ සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බැවින් අදාළ එකඟතාවයට පැමිණ ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ක්ෂේත්‍ර නිලධාරීන්ට තම මැතිවරණ බල ප්‍රදේශය තුළ ඡන්දය ඉල්ලීමට ඇති බාධා සහ ඒවා ඉවත් කිරීමට අදාළ පනත සංශෝධනය කිරීම පිළිබඳව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමුව තිබෙනවා.

මේ සඳහා නීතිපති උපදෙස් පරිදී සංශෝධනයට ලක්වූ පනතක්, සංශෝධනයට පෙර පැවති ලෙස නැවතත් සකස් කිරීමට අවශ්‍ය නම් ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර අනුමැතිය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවයි කාරක සභාවේදී නිලධාරීන් පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම පළාත් සභා අමාත්‍යාංශවල ලේකම්වරුන් ස්ථානමාරු කිරීමේ ක්‍රමවේදය ක්‍රමවත් කිරීම සහ සේවා ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන් ස්ථානමාරු කිරීම සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචනයක් ද එහිදී සිදු කර තිබෙනවා.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කර ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු පරිපාලන නිලධාරීන්ගේ ස්ථානගත කිරීම් නිසි පරිදි සිදුකළ යුතු බවයි.
(lknews.lk)