යුක්තිය මෙහෙයුමේ තාවකාලික වෙනසක්

December 24, 2023 - 12:07 PM
උත්සව සමය කේන්ද්‍ර කරගනිමින් යුක්තිය මෙහෙයුම තාවකාලිකව සීමාකළ බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, පොලිස් නිලධාරීන් කතෝලික දේවස්ථාන ආශ්‍රිතව රාජකාරියේ යෙදවීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

එහිදී මහජනතාව මගින් ලැබෙන තොරතුරු මත වැටලීම් ක්‍රියාත්මක කිරීමට සූදානම් වී සිටින බව, ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර යුක්තිය මෙහෙයුමේදී දින 06 ක් තුළ සැකකරුවන් 12,132ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 08කට අධික ප්‍රමාණයක්, අයිස් කිලෝග්‍රෑම් 04 කට අධික ප්‍රමාණයක්, හා ගංජා කිලෝග්‍රෑම් 269 ක් සිය භාරයට ගත් බවයි.

සැකකරුවන් 636 දෙනෙකු සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබාගැනීමට කටයුතු කර ඇති බව ද සඳහන්.

සැකකරුවන් 151 දෙනෙකුගේ දේපල සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර සඳහන් කළේ, සැකකරුවන් 998 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකිරීමට පියවර ගෙන ඇති බවයි.
(lknews.lk)