අන්තරේ කැඳවුම්කරු සහ තවත් 7 කට අධිකරණයෙන් නියෝගයක්

January 17, 2024 - 1:32 PM
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (17) සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකට අදාළව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අදාළ විරෝධතාවය හේතුවෙන් මහජන පීඩාවක් ඇති වියහැකි බවට මරදාන පොලිස් ස්ථාන මඟින් සිදුකරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගැනීමේන් අනතුරුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත්කර තිබුණා.

ඒ අනුව අද දින කුලරත්න මාවත (මරදාන පාර), ඔරාඹිපාෂා මාවත, සංඝරාජ මාවත, ඩීන්ස් පාර (පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත) ඩාලි පාර (ටී.බී ජයා මාවත) හා රෝහල් චතුරස්‍ර තුළ හා පිටත මාර්ගවල පදික වේදිකාට භාවිත කළ නොහැකි බවටත් අධිකරණය දැනුම්දී තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු වගඋත්තරකරුවන් 9 දෙනෙකු වෙත මෙම නියෝගය නිකුත් කර තිබුණා.

එමෙන්ම අද උදෑසන 11 සිට හෙට උදෑසන 11 දක්වා පැය 24ක කාලයක් තුළ ඉහළ වගඋත්තරකරුවන් විසින් සංවිධානය කර ඇති උද්ඝෝෂණ හා පෙළපාලි තහනම් කරමින් මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක විසින් නියෝගයක් ලබා දී තිබෙනවා.
(lknews.lk)