ලබන වසර වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කිරීමට සැලසුම්

November 06, 2023 - 8:37 AM
එළඹෙන 2024 වර්ෂය වන විට මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ iii ශ්‍රේණියට නවක විදුහල්පතිවරුන් 4672 ක් බඳවා ගැනීමේ පත්වීම් ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අධ්‍යාපන ක්ෂේත්‍රය අඛණ්ඩ ව සහ ක්‍රමවත් ව පවත්වාගෙන යාමට ක්ෂේත්‍රයේ පවත්නා පුරප්පාඩු සම්පූර්ණ වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි එහිදී ඔහු පෙන්වා දුන්නේ.

මේ වන විට අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 808ක් පවතින බවත් භාණ්ඩාගාරයෙන් එයින් 50%ක පුරප්පාඩු සම්පූර්ණ කිරීමට දැනට අනුමැතිය ලැබී ඇති බවත් ඒ අනුව එම පුරප්පාඩු 404 නුදුරේ දී ම සම්පූර්ණ කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම ගුරු උපදේශන සේවයේ ද සිටිය යුතු සංඛ්‍යාව 4200 ක් වන නමුත් දැනට සේවයේ සිටින්නේ 1100 කට ආසන්න පිරිසක් වන අතර එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ද මේ වන විටත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් පිළියෙළ කර අවසන් කර තිබෙනවා.

මීට අමතරව ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් 1800ක් සිටිය යුතු වුවත් දැනට නිලධාරීන් 800 කට වඩා නොමැති බවත් ඉදිරියේ දී නිලධාරීන් 707 ක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසූවා.
(lknews.lk)