පාප් වහන්සේ ස්වර්ගස්තවීමට හේතුව නිළ වශයෙන් නිවේදනය කරයි

April 22, 2025 - 9:29 AM
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්තවීමට හේතුව ආඝාත තත්ත්වයක් හා හෘදයාබාධයක් බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වූයේ ඊයේ උදෑසන 7.35ට පමණ වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීයි.

පසුගිය කාලයේදී ශ්වසන ආබාධයන්ට මුහුණ දුන් උන්වහන්සේ නිව්මෝනියා රෝගය හේතුවෙන් සති පහක පමණ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සුවය ලබා පිටව ගියද මාස දෙකක කාලයක් විවේක සුවයෙන් කාලය ගත කළ යුතු බවටයි වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණා.

නමුත් වෛද්‍යවරුන් සඳහන් කළේ පූර්ණ වශයෙන් සුවය නොලැබුවද උන්වහන්සේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

එමෙන්ම රෝගාතුර වීම හේතුවෙන් දීර්ඝ කාලයක් ජන හමුවලින් ඈත් වී සිටි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරිදා දිනයේ පැවැත්වුණු පාස්කු ප්‍රධාන දේව මෙහෙයට ද සහභාගී වුණා.

ශාන්ත පීටර් චතුරස්‍රයේදී පැවති දේව මෙහෙයට දහස් ගණනක කතෝලික බැතිමතුන් පිරිසක් සහභාගී වූ අතර එය උන්වහන්සේ සහභාගී වූ අවසන් දේව මෙහෙය හා ජන හමුව වනවා.



(lknews.lk)