මන්ත්‍රීවරුන්ගේ නැව් පාටියේ සුන්දර මතකය ගැන වරාය අධිකාරිය කතා කරයි

January 10, 2024 - 6:34 PM
කොළඹ වරායේ ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සඳහා නෞකාවක සංවිධානය කර තිබූ සාදයක්‌ පිළිබඳව පසුගියදා පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කොළඹ වරායේ නෞකාවක සිටියදී සංග්‍රහ කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. 
 
සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියා සිටියේ කොළඹ වරායේ ක්‍රියාත්මක වන විවිධ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ යාවත්කාලීන කිරීම සඳහා දේශපාලඥයින්, නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් සඳහා සාමාන්‍ය නැව් සංචාර පවත්වන බවයි. 
 
වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව එහි නිරීක්ෂණ චාරිකාවක් සඳහා මැති ඇමතිවරුන් පිරිසක් සඳහා නැව් චාරිකාවක් සංවිධානය කළ බව වරාය අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා. 
 
මාධ්‍ය වාර්තාවල සඳහන් පරිදි ආහාර හෝ වෙනත් කටයුතු සඳහා වියදම් කර නොමැති බවද වරාය අධිකාරිය පවසනවා.
(lknews.lk)