සිරිපා වන්දනාවේදී සංචාරක වෙළඳාමට සීමා

December 20, 2023 - 10:08 AM
මෙවර සිරිපා වන්දනා වාරයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ රෙගුලාසි ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ මස 26 වනදාට යෙදෙන උදුවප් පොහොයෙන් ඇරඹෙන සිරිපා වන්දනා වාරය ලබන වසරේ මැයි මස 24 වනදාට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් අවසන්වීමට නියමිතයි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මීට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සිරිපා මලුව සහ විශ්‍රාම ශාලා ප්‍රදේශවල මෙන්ම ගමන් මාර්ගයේද සංචාරක වෙළඳාම තහනම් බවයි.

අවසර ලද ස්ථානවල හැර අනෙක් ස්ථානවල පූජා භාණ්ඩ, පූජා වට්ටි, ආහාර ද්‍රව්‍ය අලෙවි නොකළ යුතු බව සඳහන්.

එමෙන්ම මත්පැන්, දුම්වැටි හෝ වෙනත් කිසිවක් රැගෙන යාම මෙන්ම වෙළඳසැල්වල තබාගැනීම තහනම් වනවා.

පිවිසුම් මාර්ග දෙපස අවසර දී ඇති ස්ථානවල හැර කිසිඳු ස්ථානයක තාවකාලිකව හෝ ස්ථිර වෙළඳසැල් තැනීමටද අවසර හිමිවන්නේ නැහැ.

සියලු සකස් කළ ආහාරද්‍රව්‍ය මැස්සන්ගෙන් ආරක්ෂා වන පරිදි ආවරණ සහිතව තිබිය යුතු අතර, දන්සල් ලබාදීමේදී පූර්ව ලිඛිත අවසරයක් ලබාගත යුතු වනවා.

වන්දනාකරුවන්ට ශ්‍රීපාද මලුව තුළ නවාතැන් ගැනීමටද අවස්ථාව නොලැබෙන අතර, වන්දනා කටයුතු අවසන් වූ පසු නික්ම යා යුතු බව සඳහන්.

ශ්‍රී පාද මලුව, අම්බලම් සහ විශ්‍රාමශාලාවල සිඟමන් ලබාගැනීම මෙන්ම සිඟමන් ලබාදීමද නොකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.
(lknews.lk)