දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දකට යට වූ STF නිලධාරියා දිවියට සමුදෙයි

December 19, 2023 - 2:49 PM
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් අනතුරට ලක්ව තුවාල ලබා රෝහල්ගත කර සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු මියගොස් තිබෙනවා.

පසුගිය 11 වනදා ඉමදූව ප්‍රදේශයට පැවති අධික වර්ෂාපතනයත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 101.4 කණුව අසලදී පස් කන්දක් නාය ගිය අතර එම ස්ථානය වෙත පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණි අවස්ථාවේදී තවත් නාය යෑමක් සිදුව තිබුණා.

එහිදී විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (18) රාත්‍රියේදී මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ පොලිස් විශේෂ කාර්ය බලකා දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව උප ඒකකයට අනුයුක්තව රාජකාරී කළ කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් සැරයන්වරයෙක්.

මියගිය නිලධාරියාගේ මෘත දේහය නාකුළුගම පලවින්න ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.
(lknews.lk)