සිපෙට්කෝ ඉන්ධනහල්වල අලෙවිය පහළට

October 20, 2023 - 6:59 AM
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධනහල් වල ඉන්ධන අලෙවිය 20%කින් පමණ පහළ ගොස් ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ, තරගකාරීත්වය ඇති කිරීමට යැයි කියමින් විදෙස් සමාගම්වලට මෙරට ඉන්ධන වෙළෙඳපොළ විවෘත කළ පසු එක් සමාගමක් සෑම ඉන්ධන ලීටරයකම මිල රුපියල් හතකින් අඩුකර අලෙවි කරන බවයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයටත් අවශ්‍ය නම් “සිපෙට්කෝ” ඉන්ධන ලීටරයක මිලත් රුපියල් හතකින් හෝ ඊට ආසන්න ගණනකින් පහළ දැමිය හැකි බවද ඔවුන් සඳහන් කළා.

නමුත් පරණ ණය ගෙවීමට අවශ්‍ය නිසා සිපෙට්කෝ මිල සතයක්වත් අඩු නොකරන බවට අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණා.

මේ ආකාරයට ගියහොත් සිපෙට්කෝ ඉන්ධනහල් වැසී යාමේ අවධානම ඇති බවයි බෙදුම්කරුවන්ගේ සංගමය පැවසූවේ.

සිපෙට්කෝ ඉන්ධන මිල පාලනය කිරීමේ අයිතිය තෙල් සංස්ථාවට ලබාදෙන ලෙස සංස්ථාව බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා.

දැනට සංස්ථා තෙල් මිල තීරණය කිරීමේ බලය ඇත්තේ බලශක්ති අමාත්‍යාංශය සතුව බව ද සඳහන්.
(lknews.lk)