ලුණු මිල පහළට

June 26, 2025 - 8:35 PM
පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ ඇති කරගත් එකඟතාවය අනුව වෙළෙඳපොළේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව ලුණු නිකුත් කරන බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

එම සංගමය වැඩිදුරටත් දැනුම්දෙන්නේ පසුගිය දිනවල රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීම අනුව, අවශ්‍ය තරම් ලුණු තොග ලැබී ඇති බැවින් ආනයනික කෑමට ගන්නා ලුණු පහත සඳහන් උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව වහාම නිකුත් කිරීම ආරම්භ කර ඇති බව එම සංගමය සඳහන් කර තිබෙනවා.

*කැට ලුණු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 180

*ලුණු කුඩු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 240

*ලුණු කුඩු ග්‍රෑම් 400ක් රුපියල් 120

ඉහත මිල යටතේ ඇසුරුම් කළ ලුණු දිවයින පුරා බෙදාහැරීමට දින කිහිපයක් ගතවිය හැකි අතර, ඉන් අනතුරුව දිවයින පුරා ඉහත සඳහන් මිලට ඇසුරුම් කළ ලුණු මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමිවෙන බවද ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.


(lknews.lk)