ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි - නිකුත් කළ ක්‍රමවේදයේ වෙනසක්

November 17, 2023 - 9:10 AM
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

ඒ අනුව ප්‍රතිඵල සකස් කිරීමේදී දිස්ත්‍රික් මට්ටම් හෝ දිවයින් මට්ටම් නිකුත් කරනු නොලැබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 332,949ක් පෙනී සිටි අතර ඉන් 50,664 දෙනෙකු කඩයිම් ලකුණු අභිබවා තිබෙනවා.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව 154ක් වනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඩයිම් ලකුණු සීමාව 150ක් වන අතර පොළොන්නරුව, බදුල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවල එම සීමාව ලකුණු 149ක් බව සඳහන්.

අම්පාර, පුත්තලම, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව 148ක් වන අතර වවුනියා, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්කවල එම සීමාව දක්වා ඇත්තේ ලකුණු 145ක් ලෙසයි.

යාපනය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව 145ක් වන අතර කිළිනොච්චි දිස්ත්‍රික්කයේ එම සීමාව ලකුණු 144ක් වනවා.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව ලකුණු 147ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4වන දින දක්වා මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බවයි.
(lknews.lk)