ශිෂ්‍යත්ව උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියේ සිට අවසන්

September 10, 2024 - 8:45 AM
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම හෙට (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා ඒවා බෙදා හැරීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීමද තහනම් බවයි.

කිසියම් පුද්ගලයෙක්, ආයතනයක් මෙම නියෝග කඩකරන්නේ නම් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට හැකියාව තිබෙනවා.



(lknews)