දිල්ලියේ වායු දූෂණය හේතුවෙන් පාසල් වසා දමයි

November 03, 2023 - 11:09 AM

නරක අතට හැරෙන වායු දූෂණ මට්ටම් මධ්‍යයේ ඉන්දියාවේ අගනුවර වන දිල්ලිහි බලධාරීන් විසින් සියලුම ප්‍රාථමික පාසල් දින දෙකකට වසා දමා තිබෙනවා.

පළමු වතාවට නගරයේ වාතයේ ගුණාත්මක භාවය දරුණු මට්ටමට පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එය ඉදිරි සති දෙක තුළ තවත් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව විද්‍යාඥයෝ පවසනවා.

තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා දිල්ලි පරිසර අමාත්‍යවරයා විසින් හදිසි රැස්වීමක් කැඳවා ඇති බවද සඳහන්.

දිල්ලි අගනුවර ලෝකයේ වඩාත්ම දූෂිත නගරවලින් එකක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අසල්වැසි ප්‍රාන්ත වන පන්ජාබ් සහ හර්යානා හි පිදුරු ගිනි තැබීම් සිදුවීම් සංඛ්‍යාව වැඩි වන විට නගරයේ වායු දූෂණය නොවැම්බර් 1 සිට 15 දක්වා ඉහළ යන බව දිල්ලි පරිසර දූෂණ පාලන කමිටුව විසින් කරන ලද අධ්‍යයනයන් මගින් පෙන්වා දී තිබෙනවා.

මේ පිළිබඳව සලකා බැලූ දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් නිවේදනය කර තිබෙන්නේ නගරයේ සියලුම රජයේ සහ පෞද්ගලික ප්‍රාථමික පාසල් සිකුරාදා සහ සෙනසුරාදා දිනවල වසා තබන බවයි.

පසුගිය මාසයේදී දිල්ලි රජය නගරය තුළ රතිඤ්ඤා නිෂ්පාදනය, විකිණීම සහ භාවිතය සඳහා පුළුල් තහනමක් පනවනු ලැබුවා.

දූෂිත වාතය සෑම වසරකම දිල්ලි වැසියන්ට දැඩි සෞඛ්‍ය ගැටලු ඇති කරන බවත් වාතයේ ගුණාත්මක භාවය හේතුවෙන් ළමුන් සහ වැඩිහිටියන් අතර ඇදුම සහ පෙනහළු ගැටලු වැඩි වන බවත් සෞඛ්‍ය වෘත්තිකයන් වාර්තා කරනවා.
(lknews.lk)