කාලගුණය දරුණුයි - ප්‍රදේශ කිහිපයකට රතු එළියක්

May 27, 2025 - 8:48 AM
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව මිවෙදනය්ක් නිකුත් කරමින් සඳහන් කළේ අද (27) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(lknews)