ශම්මිගේ පෙත්සම අභියාචනාධිකරණයෙන් ඉවතට

December 15, 2023 - 2:03 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ගොණුකළ රිට් පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (15) තීරණය  කර තිබෙනවා.

ඒ ඉදිරියේදී යම් සාධාරණ නීතිමය අවශ්‍යතාවක් මතු වුවහොත් පෙත්සම යළි කැඳවීමට පෙත්සම්කරුවන්ට අයිතිය ලබා දෙමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විගණනයෙන් පසු දූෂණ සහ අක්‍රමිකතා රැසක් හෙළි වූ පසුබිමක හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රිකට් පරිපාලනයේ කටයුතු අත්හිටුවමින් අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් පංච පුද්ගල අන්තර් පාලන මණ්ඩලයක් පත් කළේ නොවැම්බර් 6 වැනිදායි.

කෙසේ නමුත් ඊට එරෙහිව ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කළා.

එවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තහනමක් ද පැනවූ අතර පැවති අර්බුද හමුවේ රොෂාන් රණසිංහට ක්‍රීඩා අමාත්‍ය ධුරය ද අහිමි වුණා.

අභියාචනාධිකරණය හමුවේ ක්‍රිකට් සභාපතිවරයාගේ රිට් පෙත්සම සලකා බලමින් පවතින අතරතුර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අවලංගු කිරීමට කටයුතු කළ අතර ඒ පිළිබඳව මීට පෙර පෙත්සම සළකා බැලූ අවස්ථාවේ අභියාචනාධිකරණයට කරුණු වාර්තා කෙරුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ගොණු කළ රිට් පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළා.
(lknews.lk)