යළි චීන පර්යේෂණ නෞකාවක් දිවයිනට පැමිණෙන ලකුණු

December 22, 2023 - 11:42 AM

චීන පර්යේෂණ නෞකාවක් යළිත් වරක් ශ්‍රී ලංකාට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදීම චීන පර්යේෂණ නෞකා ශ්‍රී ලංකාවට පැමිණි අතර, එම අවස්ථාවලදී යම් මතවාදී ගැටලු කිහිපයක් ද හටගත්තා.

ඒ ඉන්දියාව විසින් එය සිය රටේ ආරක්ෂාවට බාධා ඇති කරන බවට ප්‍රකාශ කිරීමත් සමගයි.

කෙසේ වෙතත් ඉන්දියාවේ දැඩි විරෝධය හමුවේ පසුගියදා චීන නෞකාවක් දිවයිනට පැමිණියා.

ඔවුන් ශ්‍රී ලංකා සාගරයේ පර්යේෂණ සිදු කළ අතර එය ජාත්‍යන්තර මාධ්‍යවල ද ප්‍රධාන පුවතක් බවට පත් වුණා.

මෙවන් පසුබිමක තවත් චීන නෞකාවක් ජනවාරි මාසයේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමග යළි ඊට ඉන්දියාවේ විරෝධය එල්ල වීමටයි පටන් ගත්තේ.

ලබන මාසයේ සිට වසරක් ගතවන තුරු ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ විදේශීය යාත්‍රාවලට පර්යේෂණ කිරීම තහනම් කළ බවට විදේශ ඇමති අලි සබ්රි මහතා ප්‍රකාශ කර ඇති බවට වාර්තා ද පළ වුණේ මෙවන් පසුබිමකයි.

කෙසේ වෙතත් මේ දිනවල ඉන්දීය මාධ්‍යවල සේම බොහෝ විදෙස් මාධ්‍යවල මෙම නෞකාව පැමිණීම ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබෙනවා.

මෙතෙක් නිල වශයෙන් අදාළ තහනම සම්බන්ධයෙන් වාර්තා වී නොමැති අතර විදේශ අමාත්‍යවරයා විදෙස්ගතව සිටින බැවින් ඔහු අපගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා සිටියේ නැහැ.

විදේශ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගෙන් මේ පිළිබඳව අප විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ අදාළ තහනම සම්බන්ධයෙන් හෙට(22) දිනයේ දී පිළිතුරු ලබා දීමට කටයුතු කරන බවයි.

ඉදිරි වසර මැතිවරණ වසරක් වීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී චීනයෙන් සහ ඉන්දියාවෙන් ලැබෙන සහය ද සළකා බැලීමේ දී මෙම නෞකාව මෙරටට පැමිණීම යළිත් වරක් ඇති කරන්නේ විසඳා ගත නොහැකි මට්ටමේ ගැටළුවක් විය හැකියි.

අසල්වැසි ඉන්දියාව අමනාප කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියා වන චීනය අමනාප කර ගැනීම ද ශ්‍රී ලංකාවට ඕනෑම අයුරකින් අහිතකර වනු ඇති.
(lknews.lk)