නාගරික ප්‍රදේශවල ගස් සිටුවන්න සිංගප්පූරුවේ තාක්ෂණය

October 12, 2023 - 10:21 AM

නාගරික ප්‍රදේශවල ගස් සිටුවීමේදී ප්‍රමිතියකින් යුත් පැළ යොදාගැනීම සඳහා වන ක්‍රමවේදයක් සකස් කරන ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදීයි.

විශේෂයෙන් කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ විධිමත් අධ්‍යයනයකින් අනතුරුව ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී ඊයේ මෙම සාකච්ඡාව පවත්වා තිබුණේ, තදාසන්න ප්‍රදේශවල ගස් කඩා වැටීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හා ඇති විය හැකි අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

එහිදී තදාසන්න ප්‍රදේශවල කඩා වැටීමේ අවදානමක් පවතින ගස් හඳුනාගැනීමටත්, ඒවා මඟින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අදාළ දීර්ඝ කාලීන විසඳුමක් සකස් කිරීමටත්, රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා.

ඒ අනුව සිංගප්පුරුව වැනි රටවල් මේ සඳහා යොදාගන්නා තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනය කර ඊට අදාළ තාක්ෂණික සහාය උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි ආයතනවලින් ලබා ගැනීමටත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට උපදෙස් ලබා දුන් බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.
(lknews.lk)