උතුරු පළාතේ ව්‍යාපාරිකයන්ගේ ගැටලුවලට ඉදිරි මාස දෙක තුළ විසඳුම්

January 07, 2024 - 1:46 PM

උතුරු පළාතේ ව්‍යාපාරිකයන් මුහුණ දී සිටින ගැටලුවලට ඉදිරි මාස දෙක තුළ විසඳුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

යාපනය දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන් ධීවර සහ ගොවි ප්‍රජාව සමඟ ඊයේ (06) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් ඉදිරි සති 02 තුළ උතුරට පැමිණ ඒ පිළිබඳ සොයා බලනු ඇති බවයි.

එමෙන්ම, උතුරු පළාතේ ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටලු විසඳීම සඳහා ක්‍රියාකාරී ආයතනයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවද ඔහු මෙහිදී සඳහන් කළා.

උතුරු පළාතේ කර්මාන්තකරුවන්, ධීවර ප්‍රජාව සහ ගොවි ජනතාව 300ක පමණ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර තම කර්මාන්ත ආශ්‍රිතව මතුව ඇති ගැටලු හා නව යෝජනා ඔවුන් මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළා.

මීට අමතරව, උතුරු පළාතට කර්මාන්ත කලාපයක් ලබා දෙන ලෙස මෙහිදී කර්මාන්තකරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ඊට අවශ්‍ය භූමි ප්‍රදේශයක් සොයා බලන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ

මේ අතර ජනාධිපතිවරයා සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය අතර හමුවක් ද ඊයේ (06) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

එම හමුවට උපකුලපති මහාචාර්ය එස්. ශ්‍රී සට්කුනරාජා මහතා ප්‍රමුඛ එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරුන් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් එක්ව සිටි අතර යාපනය විශ්වවිද්‍යාලයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් වූ සංවර්ධන සැලැස්මද මෙහිදී ඔවුන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
(lknews.lk)