රත්කිඳ සහ රාජාංගන ජලාශවල වාන් දොරටු විවෘත කරයි

January 12, 2025 - 1:36 PM
දිවයිනේ පවතින වර්ෂාව හේතුවෙන් උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ තවත් ජල පාලන දොරටු හතරක් අද (12) උදෑසන විවෘත කර තිබෙනවා.

ඒ අනුව පිටවානේ සියලුම දොරටු විවෘත කර ඇති බව ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර කියා සිටියා.

ඔහු කියා සිටියේ රත්කිඳ ජලාශයේ ජල මට්ටම පිරිසැපයුම් මට්ටම ඉක්මවා ගොස් ඇති බවයි.

එය නියමිත මට්ටමේ පවත්වා ගැනීම සඳහා මාපාකඩ කාර්ය භාර ඉංජිනේරුවරයාගේ උපදෙස් පරිදි මෙලෙස ජල පාලන දොරටු විවෘත කළ බවද ඔහු සඳහන් කළා.

දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශයට පහළින් පිහිටි රත්කිඳ-ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ කොටසක් ජලයෙන් යටවී තිබෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි පැය කිහිපය තුළදී ඇද හැලෙන වර්ෂාවේ ප්‍රමාණය මත ජල පාලන දොරටු විවෘත කරන ප්‍රමාණයද වෙනස් විය හැකි බවයි.

මේ අතර රාජාංගනය ජලාශයේ වාන් දෙරටු දෙකක් විවෘත කිරීමටද අද පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අඩි දෙක බැගින් විවෘත කර ඇති මෙම වාන් දොරටු දෙක තුළින් තත්ත්පරයට ඝන අඩි 1,200ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)