ආසියානු කුසලාන අවසන් මහා තරගය අදයි

September 17, 2023 - 9:30 AM
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මෙම තරගය ආරම්භ වනු ඇති.

තරග සංවිධායකයින් සඳහන් කළේ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිවිසුම් දොරටු අසල තදබදය අවම කරගැනීම සඳහා ක්‍රීඩාංගණයේ පිවිසුම් දොරටු අද දහවල් 12ට විවෘත කරන බවයි.

මේ වනවිට 6 වරක් ආසියානු ශූරයින් වූ ශ්‍රී ලංකා පිල අවසන් වරට සිය මව්බිමේදී ආසියානු ක්‍රිකට් ශූරතාවක් දිනා ගත්තේ 2004 වසරේදීයි.

ඉන්දියාව 7වරක් ආසියානු ශූරයින් බවට පත්වී ඇති අතර ඔවුන් අවසන් වරට 2018 වසරේදී ආසියානු ශූරයින් බවට පත්වුණා.

දෙපිල අතර ආසියානු කුසලාන අවසන් තරග 8ක් පවත්වා ඇති අතර ඉන් අවස්ථා 5කදී ඉන්දියාව ශූරයින් බවට පත්වී ඇති අතර ශ්‍රී ලංකාව අවස්ථා 3කදී ශූරතාව දිනාගෙන තිබුණා.

මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නීති සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

ඒ සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දු - පාකිස්තාන තරගයට අතිරේක දිනයක් ලබාදීම සම්බන්ධයෙන්.

එක් කණ්ඩායමක් වෙනුවෙන් පමණක් තරග නීති වෙනස් කිරීම කනාගටුදායක තත්ත්වයක් බව ක්‍රික් ඉන්ෆෝ වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.
(lknews.lk)