අඩු වියදමකින් නිදහස් උත්සවය සැමරීමට පියවර

January 08, 2025 - 7:35 PM
ලබන මස 04වන දිනට යෙදී තිබෙන 77වන නිදහස් දින සැමරුම් උත්සවය අඩු වියදමකින් සැමරීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ උත්සවයට සහභාගී වන ආරාධිත අමුත්තන් සංඛ්‍යාව 3,000සිට 1,600දක්වා අඩු කර ඇති බවයි.

එමෙන්ම මෙවර ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩිමුර 21ක් පිරිනැමීම සහ හමුදා පෙළපාලියේදී සන්නද්ධ රථ ප්‍රදර්ශනය කිරීමද අවලංගු කර තිබෙනවා.

ඔහු කියා සිටියේ මෙවර උත්සවයේදී ත්‍රිවිධ හමුදා හා පොලිස් ආචාර පෙළපාලියට සහභාගි වන නිලධාරීන් සංඛ්‍යාවද අඩු කර ඇති අතර ගුවන් සංදර්ශනද සීමා කර ඇති බවයි.

මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

(lknews)