ඊශ්‍රායලයේදී මියගිය සුජිත් බණ්ඩාර වෙනුවෙන් හැකි සියළු වන්දි ලබාදීමට පියවර

November 10, 2023 - 11:11 AM

ඊශ්‍රායල – හමාස් යුධ ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සුජිත් බණ්ඩාර මහතා වෙනුවෙන් ලබාදිය හැකි සියළු වන්දි මුදල් හා දීමනාවන් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එසේම ඊශ්‍රායල් රජය විසින් යුද්ධය හේතුවෙන් මියගිය පුද්ගලයින් වෙත ලබාදීමට කටයුතු කරන සියළු වන්දි මුදල් හා දීමනාවන් සුජිත් මහතා වෙනුවෙන්ද ලබාදීම සඳහා ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදුකිරීමටද කාර්යාංශය මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ සුජිත් බණ්ඩාර යටවර මහතා සාත්තු සේවකයෙකු වශයෙන් සේවය කිරීම සඳහා 2018 වසරේදී ඊශ්‍රායලය වෙත පිටත්ව ගොස් ඇති අතර, ඊශ්‍රායලයේ යුධ ගැටුම් හේතුවෙන් ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය පසුගියදා තහවුරු කළා.

ඒ අනුව ඔහුගේ දේහය ඊයේ (09) පෙරවරුවේ දිවයිනට ගෙන්වා ගනු ලැබූ අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු නොවැම්බර් මස 11 වන දින වෙන්නප්පුවේදී සිදුකිරීමට නියමිතයි.
(lknews.lk)