උසස් පෙළ අවසන් කරන සිසුන්ට ලබන මාසයේ සිට යළිත් පාසල් යන්න අවස්ථාවක්

January 22, 2024 - 6:01 PM

තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිත ව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වැඩසටහනක් මෙවර උසස් පෙළ හදාරා අවසන් කරන පාසල් සිසුන්ට ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ අනුව එම වැඩසටහන පෙබරවාරි මාසයේ සිට ආරම්භ කරන බවයි විශේෂ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති වැඩසටහනක දී අමාත්‍යවරයා පැවසුවේ.

අපොස උසස් පෙළ අධ්‍යාපනය අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වෘත්තීය පුහුණු වැඩසටහන දිවයිනේ තෝරාගත් පාසල් 299ක දී ක්‍රියාත්මක වනවා.

එමෙන්ම මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට ලබන මස 09 වැනි දිනට පෙර මෙම වැඩසටහනට ලියාපදිංචි විය හැකියි.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරීන්ගෙන් ලබාගත හැකි බව සඳහන්.
(lknews.lk)