දෙමළ පක්ෂ නියෝජිතයන් සහ ජනාධිපති අතර සාකච්ඡාවක්

December 19, 2023 - 8:53 AM
උතුර - නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ පක්ෂවල නියෝජිතයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අනිද්දා (21) පැවැත්වෙන බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් පවසනවා.

මෙහිදී ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින පිරිස් නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

එසේම පසුගියදා දිවයිනට පැමිණි ගෝලීය දෙමළ සංසදයේ නියෝජිතයින් පිරිසක් සහ භික්ෂුන් වහන්සේ පිරිසක් ඉදිරිපත් කළ හිමාලයා ප්‍රකාශනය පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නව නායකයා ජනවාරි මස 21 වනදා තෝරා ගැනීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ, ඊයේ ත්‍රීකුණාමලයේදී එම පක්ෂයේ විධායක කමිටුව පක්ෂ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි.

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන් සහ එස්. ශ්‍රී ධරන් ඉදිරිපත් වන බවට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයෙන් විශ්‍රාම යෑමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා දැනටමත් තීරණය කර තිබෙනවා.
(lknews.lk)