නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතියට

December 11, 2023 - 11:30 AM
නඩත්තු කටයුත්තක් නිසා අක්‍රිය තත්ත්වයේ පැවති නොරොච්චෝලේ ලක්විජය බලාගරයේ තුන්වන ජනන යන්ත්‍රය මේ වනවිට ජාතික පද්ධතියට එක් කිරීම ආරම්භ කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව ජාතික පද්ධතියට අද (11) දිනය තුළ මෙගාවොට් 300ක ධාරිතාවක් එක් වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ.

දිවයින පුරා හදිසි විදුලිය බිදවැටීමක් සිදු වූ පෙරේදා දිනයේ නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය ද අක්‍රිය වූ අතර ඒ අනුව දෙවන ජනන යන්ත්‍රය පමණක් ක්‍රියාත්මක තත්ත්වයේ පැවතුණා.

තුන්වන ජනන යන්ත්‍රය නඩත්තුවෙන් පසු පෙර සූදානම් තත්ත්වයේ තිබූ අතර එහි මෙගාවොට් 300ක ධාරිතාව අද දිනය තුළ ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.
(lknews.lk)