අද මධ්‍යම රාත්‍රියේ සිට යළි පොලිස්පති පුටුව හිස්

November 03, 2023 - 10:27 AM

වර්තමාන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන C.D වික්‍රමරත්න මහතාට ලබා දුන් තුන්වන සේවා දිගුව හෙටින් (03) අවසන් වනවා.

කෙසේ වෙතත්, ඊළඟ පොලිස්පතිවරයා කවුරුන් ද යන්න මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

ඔහු විශ්‍රාම ගිය ද නව පොලිස්පතිවරයෙක් පත් කර ගැනීමට නොහැකි වීම නිසා පළමු වර ඔහුට මාස තුනක සේවා දිගුව ලබා දුන්නේ මෙම වසරේ මාර්තු මස 26වන දිනයි.

ඒ අනුව ජුනි 26වනදා ඔහුගේ පළමු සේවා දිගුව අවසන් වුණා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී ද පොලිස්පති ධුරය සඳහා කිසිවෙකුත් පත් නොකළේ ඒ සඳහා පවතින තරගය නිසා බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඉන් අනතුරුව ඔහු ට යළි මාස තුනකට සේවා දිගුවක් ලබා දුන් අතර, එම දෙවන සේවා දිගුව පසුගිය මස 09 වනදා අවසන් වුණා.

ඒ අනුව එදින සිට සිට එම මාසයේ 13වන දින දක්වා දින හතරක් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක වූයේ පොලිස්පතිවරයෙකු නොමැතිවයි.

කෙසේ වෙතත් ඉන් අනතුරුවත් නව පොලිස්පතිවරයෙකු පත්කර ගැනීමට අපොහොසත් වීම නිසා C.D වික්‍රමරත්න මහතාට එදින සිට යළි සති තුනක සේවා දිගුවක් ලබා දුන්නා.

ඒ අනුව එම සේවා දිගුව ද අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වනු ඇති.
(lknews.lk)