අද සිට ප්‍රහාර දැඩි කරනවා - ඊශ්‍රායල හමුදාව කියයි

October 22, 2023 - 4:35 PM
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර අද (22) සිට දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඉදිරි අදියරවලදී තම හමුදාව මුහුණ දෙන අවදානම් සහගත තත්ත්වයන් අවම කිරීම සඳහා එම තීරණය ගත් බවයි.

ඒ අනුව උතුරු ගාසා තීරයේ තවදුරටත් සිවිල් ජනතාව රැඳී සිටී නම් වහාම දකුණු ප්‍රදේශ බලා ගමන් කරන ලෙස ඔහු නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ගාසා තීරයේ ජනතාව සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය සැපයුම් රැගත් ට්‍රක් රථ සඳහා රෆා පිවිසුම ඊයේ විවෘත කළා.

ඒ, ජලය, ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැති වීමෙන් ගාසා තීරයේදී අර්බුදයකට මුහුණ දුන් විශාල පිරිසකට සහන සැළසීමේ අරමුණින්.

ඊශ්‍රායලය එම සැපයුම් ලබාදීමට දේශ සීමා විවෘත කිරීම ප්‍රතික්ෂේප කළ පසුබිමක, විපතට පත් සිවිල් ජනතාවට අවශ්‍ය ආධාර ලබාදීමට තිබූ එකම මාර්ගය ඊජිප්තු - ගාසා දේශ සීමාවේ රෆා පිවිසුමයි.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, එම ආධාර තොගය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

ගැටුම් හේතුවෙන් මේ වනවිට දෙරටේ මියගොස් ඇති පුද්ගලයින් ගණන 5800 ඉක්මවා ඇති අතර තුවාලකරුවන් සංඛ්‍යාව 19,900ට අධිකයි.
(lknews.lk)