පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

April 26, 2025 - 9:27 AM
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතව තිබෙනවා.

අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇත්තේ මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට පමණ වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේදීයි.

අවමංගල්‍ය දේව මෙහෙය කාදිනල් විද්‍යාලයේ පීඨාධිපති කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ විසින් පවත්වනු ලබන අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට හිටපු ජනාධිපති ජෝ බයිඩන් ඇතුළුව රටවල් රැසක රාජ්‍ය නායකයින්, නියෝජිතයන් ඇතුළු ලක්ෂ 2කට අධික පිරිසක් අවමංගල්‍ය උත්සවයට සහභාගීවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කර ඇති උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට පසුගිය දිනවල රාත්‍රිය පුරා අවස්ථාව සලසා දී තිබූ අතර, එය එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 8ට අවසන් වී තිබෙනවා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව උන්වහන්සේගේ දේහය මිහිදන් කිරීම සිදුවන්නේ රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදීයි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


(lknews.lk)