වගකීමෙන් ක්‍රියා කරන ලෙස ජනපති දේශපාලන නායකයන්ගෙන් ඉල්ලයි

December 18, 2023 - 8:45 AM

සියලු දේශපාලන නායකයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මහනුවර මහ නගර සභාවේ කරළිය සම්මේලනය සහ රංග කලා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (17) එක් වෙමින්.

එම වැඩසටහන ප්‍රතික්ෂේප කරන සියලු දෙනා රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කළ යුතු බවත්, වගකීම් භාර නොගෙන ජනතා සිත් සතුටු කිරීමට පමණක් ප්‍රකාශ නිකුත් කරන දේශපාලනය රට නැවත ආර්ථික අගාධයට ඇද දමනු ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

ජනප්‍රිය ප්‍රකාශ නිකුත් කරන කිසිවෙකු අසීරු තීරණ ගැනීමට සූදානම් නොමැති අතර කෙතරම් දෝෂාරෝපණයට ලක් වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන තමා ආරම්භ කළේ රටේ ආර්ථිකය බේරා ගැනීමට වෙනත් විකල්පයක් නොමැති නිසා බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.
(lknews.lk)