ජපානයට බලපෑ භූමිකම්පාවෙන් මිය ගිය ගණන ඉහළට

January 02, 2024 - 5:40 PM

ජපානයට බලපෑ භූමිකම්පාවෙන් පසු මිය ගිය සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා පවසන්නේ භූමිකම්පාවෙන් ජීවිත හානි රැසක් සහ විශාල හානියක් සිදුව ඇති බවයි.

ගලවාගැනීමේ කණ්ඩායම් 1000ක් පමණ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජපාන හමුදාව නිවසින් පිටව යාමට සිදුවූවන් සඳහා ආහාර, ජලය සහ බ්ලැන්කට් ඇතුළු සැපයුම් ලබා දී තිබෙනවා.

එමෙන්ම ජපාන මුහුද ආශ්‍රිතව සියලුම සුනාමි උපදේශන දැන් ඉවත් කර ඇති අතර එයින් අදහස් කර ඇත්තේ තවදුරටත් එවැනි සිදුවීමක් ඇතිවීමේ අවදානමක් නොමැති බවයි.

රික්ටර් පරිමාණයේ 7.6 ක භූමිකම්පාවක් ඊයේ (01) සිදුවීමෙන් පසු තවත් පසු කම්පන රැසක්ද සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ගලවා ගැනීමේ සේවකයින් දහස් ගණනක් එම ප්‍රදේශවලට පිටත් කර යවා ඇති නමුත් දිවි ගලවා ගත් අය සෙවීමට අවහිර වූ මාර්ග එයට බාධාවී තිබෙනවා.

රටේ අගමැති ෆුමියෝ කිෂිඩා මෙම සෙවීම විස්තර කර ඇත්තේ “කාලයට එරෙහි සටනක්” ලෙසටයි.

ප්‍රදේශයට පැමිණෙන බොහෝ දුම්රිය සේවා, පාරු සහ ගුවන් ගමන් අත්හිටුවා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.
(lknews.lk)