වැටුණු තැනින් ඉදිරියට ආවත් තවම ගමන අවසන් නැහැ -ජනපති

November 29, 2023 - 9:33 AM

රටක් ලෙස වැටුණු තැනින් අප ඉදිරියට පැමිණ තිබුණද, තවම ගමන අවසන් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීමට නම් සියලුදෙනා එක්ව ඉතා ඉවසීමෙන් යුතුව ඉදිරියට යා යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති 2023 සණස ජාතික සම්මේලනය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

දේශපාලන ප්‍රතිපත්ති මාලා වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 06 වන පරිච්ඡේදයේ “රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මය හා මූලික යුතුකම්” අනුව ක්‍රියා කිරීමට වත්මන් රජය සෑමවිටම කටයුතු කරන බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ.

මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළේදී සණස වැනි ව්‍යාපාරවල දායකත්වය මනා රුකුලක් වනු ඇති බව සඳහන් කර ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජන ජීවිතය නගා සිටුවමින් සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එක්වන ලෙස සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශවලින් ඉල්ලා තිබෙනවා.
(lknews.lk)