පොලිස්පතිවරයාගේ අසුන හිස් වෙයි

November 26, 2023 - 2:20 PM
පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ C.D වික්‍රමරත්න මහතාට ලබා දී තිබූ හතරවන සේවා දිගුව පසුගියදා අවසන් වීමත් සමග මේ වනවිට ශ්‍රී ලංකා පොලිසිය පවතින්නේ පොලිස්පතිවරයෙකු නොමැතිව බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඊළඟ පොලිස්පතිවරයා කවුරුන් ද යන්න මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

ඔහු විශ්‍රාම ගිය ද නව පොලිස්පතිවරයෙක් පත් කර ගැනීමට නොහැකි වීම නිසා පළමු වර ඔහුට මාස තුනක සේවා දිගුව ලබා දුන්නේ මෙම වසරේ මාර්තු මස 26වන දිනයි.

ඒ අනුව ජුනි 26වනදා ඔහුගේ පළමු සේවා දිගුව අවසන් වුණා.

එම අවස්ථාවේ දී ද පොලිස්පති ධුරය සඳහා කිසිවෙකුත් පත් නොකළේ ඒ සඳහා පැවති තරගය නිසා බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඉන් අනතුරුව ඔහු ට යළි මාස තුනකට සේවා දිගුවක් ලබා දුන් අතර, එම දෙවන සේවා දිගුව ඔක්තෝම්බර් මස 09 වනදා අවසන් වුණා.

ඒ අනුව එදින සිට සිට එම මාසයේ 13වන දින දක්වා දින හතරක් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක වූයේ පොලිස්පතිවරයෙකු නොමැතිවයි.

ඉන් අනතුරුවත් නව පොලිස්පතිවරයෙකු පත්කර ගැනීමට අපොහොසත් වීම නිසා C.D වික්‍රමරත්න මහතාට එදින සිට යළි සති තුනක සේවා දිගුවක් ලබා දුන්නා.

ඒ අනුව එම සේවා දිගුව නොවැම්බර් මස 02වන දින අවසන් වූ අතර ඉන් පසුව ද නව පොලිස්පතිවරයෙක් පත් කර ගැනීමට බලධාරීන් සමත් වූයේ නැහැ.

අනතුරුව නොවැම්බර් මස 03වන දින සිට යළි සති තුනක සේවා දිගුවක් ඔහුට ලබා දුන්නා.
(lknews.lk)