මැතිව්ස්ගේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලයි

November 09, 2023 - 8:56 AM
ඇන්ජලෝ මැතිව්ස්ගේ ආන්දෝලනාත්මක 'ටයිම් අවුට්' දැවී යාමේ තීන්දුව ලබාදීමේදී, විනිසුරුවන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) පැමිණිල්ලක් ගොනු කරන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ විකාශක දර්ශනවලට අනුව ඇන්ජලෝ මැතිව්ස්ගේ හිස්වැසුම් පටිය කැඩීමට පෙර නියමිත වේලාවට ක්‍රීඩාගාරයේ සිටි බව තහවුරු වී තිබීම හේතුවෙන්. 
 
නමුත් තරගයේ සිවුවැනි විනිසුරු ඇඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් ප්‍රකාශ කළේ ඇන්ජලෝ මැතිව්ස්ගේ හිස්වැස්ම කැඩී යාමටත් පෙර නියමිත මිනිත්තු 2ක කාල සීමාව තුළ ඔහුගේ ක්‍රීඩාගාරයට නොපැමිණි බවයි. 
 
මෙම සිද්ධියේදී විනිසුරුවරුන් සැලකිය යුතු වරදක් සිදු කර ඇති බව දැන් ඔප්පු වී ඇති බැවින්, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 
 
මීට අමතරව ඇන්ජලෝ මැතිව්ස්ට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයාට බලපෑම් කළේ විනිසුරු මාරයිස් ඉරැස්මස් දැයි විමර්ශනය කරන ලෙස ද එම ඉල්ලීම් වල සඳහන්. 
 
කෙසේවෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැහැ.
(lknews.lk)