එක්දින සහ 20යි 20 නායකත්වය වනිදුට?

December 16, 2023 - 8:57 PM
ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් කණ්ඩායමේ නව නායකත්වය වනිදු හසරංගට ලබා දීම කෙරෙහි උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.

මෙතෙක් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නිත්‍ය නායකත්වය දැරුවේ දසුන් ශානකයි.

නායකයෙකු ලෙස දසුන් ශානක කලින් කලට සාර්ථක වූවත් ඔහු ක්‍රීඩකයෙකු ලෙස දිගින් දිගටම අසාර්ථක වීමත්, ආබාධයට ලක්වීමත් නිසා නිමා වූ එක්දින ලෝක කුසලානය අතරවාරයේදී නායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබාදීමට හිටපු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තා.

කෙසේ වෙතත් නව ක්‍රිකට් තේරීම් කමිටුවේ අදහස වී ඇත්තේ වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සතු හොදම පිතිකරු වන කුසල් මෙන්ඩිස්ට නායකත්වය අමතර පීඩනයක් විය හැකි බවයි.

මේ හේතුව නිසාම නායකත්වයෙන් කුසල් ඉවත් කර ඔහුට සිය සුපුරුදු රිද්මයෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කිරීමේ අරමුණ ඇතිව ඔහුට නායකත්වය ලබා නොදීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත්තේ.

ඒ අනුව එළැඹෙන සිම්බාබ්වේ එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සිට වනිඳු හසරංගට නායකත්වය ලබාදීමට නියමිත බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිය මාර්ග ප්‍රකාශ කළා.
(lknews.lk)