පුද්ගලික ආරක්ෂක ආයතන සඳහා බලපත්‍ර ලබා දීමේ වෙනසක්

September 28, 2023 - 7:14 PM
ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් දැනට එහි විෂය පථය යටතේ ලියාපදිංචි වී ඇති පුද්ගලික ආරක්‍ෂක ආයතන පාලනය කරන බලපත්‍ර කොන්දේසි පිළිබඳ පුළුල් සමාලෝචනයක් සහ සංශෝධනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ 1998 අංක 45 දරන පුද්ගලික ආරක්‍ෂක නියෝජිතායතන නියාමනය කිරීමේ පනතේ විධිවිධානවලට අනුකූලවයි.

මෙම නව රෙගුලාසි යටතේ දැනට ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති සියලුම පෞද්ගලික ආරක්ෂක ආයතන ඉදිරි වසර 02 ආවරණය වන පරිදි බලපත්‍ර දීර්ඝ කිරීම් සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වනවා.

පවතින බලපත්‍රය කල් ඉකුත් වීමට අවම වශයෙන් මාස තුනකට (03) පෙර මෙම අයදුම්පත් ඉදිරිපත් කළ යුතුයි.

වලංගු බලපත්‍රයක් නොමැතිව ක්‍රියාත්මක වීම බරපතල වරදක් ලෙස සලකන බවත්, 1998 අංක 45 දරන පුද්ගලික ආරක්ෂක ආයතන නියාමනය කිරීමේ පනතේ දක්වා ඇති පරිදි මෙම අවශ්‍යතාවය කඩ කරන පුද්ගලයන්ට හෝ ආයතනවලට නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු විය හැකි බවත් අමාත්‍යාංශය පවසනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සියළුම පුද්ගලික ආරක්ෂක ආයතන ඔවුන්ගේ අඛණ්ඩ නීතිමය ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා මෙම බලපත්‍ර යාවත්කාලීනය කඩිනමින් පිළිපදින ලෙස දිරිමත් කරනවා.

නව බලපත්‍ර කොන්දේසිවලට අනුකූල වීමට අපොහොසත් වුවහොත් බලපත්‍ර අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට මෙන්ම විභව නීතිමය ක්‍රියාමාර්ගවලටද හේතු විය හැකි බවයි අමාත්‍යංශය පැවසුවේ.

පුද්ගලික ආරක්ෂක ඒජන්සි බලපත්‍රය දීර්ඝ කිරීම සහ ලියාපදිංචිය සඳහා වන වැඩිදුර තොරතුරු සහ අයදුම්පත් ආරක්‍ෂක අමාත්‍යාංශයේ www.defence.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.
lknews.lk)