පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ

November 13, 2023 - 8:06 PM
පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. 
ඒ අනුව නව විශ්ව විද්‍යාල හතරක් පිහිටුවීමට පියවර ගන්නා බවත් ඉදිරියේදී පළාත් සභා මගින් ද විශ්වවිද්‍යාල ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් ජනධිපතිවරයා සඳහන් කළා. 
 
එමෙන්ම ඊළඟ වසර දෙක තුනේදී විශ්ව විද්‍යාල ගණන දෙගුණයකින් තුන් ගුණයකින් වැඩි කිරීම රජයේ අරමුණ බව ද ජනාධිපතිවරයා සඳහන් කළා. 
 
නව යුගයට ගැලපෙන පරිදි රාජ්‍ය විශ්වවිද්‍යාල දියුණු කරන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් එම වැඩපිළිවෙළ ආරම්භ කරන බවත් ඒ වෙනුවෙන් ලබන වසර වෙනුවෙන් රුපියල් මිලියන 500ක් වෙන් කෙරෙනු ඇති. 
 
රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහා බලවත් නීති සම්පාදනය කිරීමෙන් පසු ලංකාවේ එම විශ්ව විද්‍යාල පිහිටුවීමට අවසර දෙන බව ද ජනාධිපතිවරයා පැවසුවා. 
 
මේ අතර පොලී රහිත ශිෂ්‍ය ණය ක්‍රමයට අමතරව වාණිජ බැංකු හරහා ණය ක්‍රමයක් යෝජනා කරන බවත් රැකියාවක් ලබා ගත් පසු ඒ ණය ආපසු ගෙවීමට හැකියාවක් ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. 
 
ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කරන බවත් තීන්දු තීරණ ගැනීමේ හා නියාමන බලතල ඊට ලබා දෙන බවත් එහිදී සඳහන් කළා. 
 
එමෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලබන තරුණ තරුණියන් සඳහා දෙස් විදෙස් රැකියා ලබා ගැනීමට අවස්ථාව ලබාගැනීමට අවස්ථාව සැකසිය යුතු වීම හේතුවෙන් ඒ සඳහා වන පුහුණු පාඨමාලා සඳහා ශ්‍රී ලංකා පදනමට රුපියල් මිලියන 150 ක් වෙන් කිරීමට කටයුතු කරනු ඇති.
 
එමෙන්ම ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර තිබෙනවා.
 
සුරක්ෂා රක්ෂණ ක්‍රමය නැවත හඳුන්වා දීමට කටයුතු කරන බවත් ඒ අනුව සියලු සිසු දරු දැරියන් සඳහා එම පහසුකම ලැබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා. 
 
ඉන්දියාව සමඟ ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට ද මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. 
(lknews.lk)