බිත්තර හා කුකුළු මස් මිල පාලනයට රජය මැදිහත් වන ලකුණු

December 14, 2023 - 9:15 AM
බිත්තර හා කුකුළු මස් මිල සතියක් ඇතුලත පාලනය කිරීමට පියවර නොගතහොත් රජය ඊට මුහුණ දීම සඳහා පියවර දෙකක් ගන්නා බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව වහා ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස 3කට අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති අතර බිත්තර සඳහා පාලන මිලක් පැනවීමට ද පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය යටතේ පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.

මේ වනවිට දේශීය වෙළෙදපොලේ කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාම සාධාරණීකරණය කළ හැකි කිසිඳු හේතුවක් කුකුළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ඉදිරිපත් කිරීමට නොහැකිව තිබෙන බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

බිත්තරයක් සඳහා වැය වන නිෂ්පාදන වියදම රුපියල් 20ක් පමණ වන බව බිත්තර නිෂ්පාදන කර්මාන්තකරුවන් පැවසුවත් මේ වනවිට වෙළෙඳපළේ බිත්තරයක මිල රුපියල් 65 දක්වා ඉහළ දමා තිබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කුකුළු මස් හා බිත්තර මිල ඉහළ දැමීම කෘත්‍රිමව සිදු කළ එකක් බවත් එම නිෂ්පාදනවලින් පාරිභෝගිකයා ගසා කෑමට මෙම ව්‍යාපාරිකයින්ට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.
(lknews.lk)