රටවල් 4කට මෙරටින් බිත්තර

September 25, 2023 - 3:59 PM
මෙරට බිත්තර මාසිකව මිලියන 1.5 ක් මාලදිවයින්ට අපනයනය කරන අතර ලබන වසරේදී තවත් රටවල් හතරකට මෙරටින් බිත්තර හා කුකුළු මස් අපනයනය කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

මේ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 25 වන වාර්ෂික පර්යේෂණ සමුළුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම මේ වනවිට මව් සතුන් අවශ්‍යය සංඛ්‍යාව මෙන්ම රක්කන බිත්තර ප්‍රමාණය ද ආනයනය කිරීමට පියවර ගෙන තිබෙන බැවින් ලබන ජනවාරියේ සිට බිත්තර නිෂ්පාදනය වැඩි වී මෙරට බිත්තර මිල පහළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.

දැනට සිදුකර තිබෙන ගණනය කිරීමේ අනුව ලබන වසරේ අගෝස්තු මාසයේ වනවිට මෙරට බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනයේ අතිරික්තයක් අපේක්ෂා කළ හැකි බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ බිත්තර අපනයනය කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇත්තේ, සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟයි.

නත්තල් සමයේ බිත්තර සඳහා පවතින ඉල්ලුම ඉහළ යන බැවින් දෙසැම්බර් මාසය දක්වා බිත්තර ආනයනය කිරීමට සිදුවනු ඇති බවත් ඉන් පසු බිත්තර ගෙන්වීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවත් අමරවීර මහතා පැවසූවා.

මෙරට බිත්තර හිඟයක් පවතිත්දීත් මාලදිවයිනට මාසිකව බිත්තර මිලියන 1.5 ක් අපනයනය කිරීමට පියවර ගත්තේ එම ඇනවුම වෙනත් රටකට යා නොදී ආරක්ෂා කර ගැනීමට බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා. 
(lknews.lk)