පොලීසියේ සිවිල් නිලධාරීන් හඳුනාගන්න ක්‍රමයක්

September 14, 2023 - 9:30 AM
පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජ ව පෙනී සිටින පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙස පොලිසිය විසින් මහජනතාවට දැනුම් දී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, දිවයිනේ විවිධ ප්‍රදේශවල දී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් පුද්ගලයන්ගේ ගමන් මලු, වාහන, නිවාස, යතුරුපැදි ආදිය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය යැයි පවසමින් දේපොළ කොල්ල කෑමේ සිද්ධි ගණනාවක් වාර්තා වී ඇති බවයි.

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ විශේෂ පොලිස් ඒකකයන්හි නිලධාරින් හැර අන් කිසිඳු අවස්ථාවක පොලිස් නිලධාරින් විසින් එසේ සිවිල් ඇඳුමින් පරීක්ෂා කිරීම් සිදු නොකරන බව පොලිසිය අවධාරණය කරනවා.

එම විශේෂ අංශයන්හි නිලධාරින් විසින් ‍යම් පරීක්ෂාවක් කරනවා නම්, ඔවුන් සිය නිල හැඳුනුම්පත ඉදිරිපත් කරන බවත් ඕනෑම අයකුට එය ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිය හැකි බවත් පොලිසිය සිය නිවේදනය හරහා දැනුම්වත් කර තිබෙනවා.

ඒ පිළිබඳව යම් සැකකටයුතු අවස්ථාවක් ඇත්නම්, නොපමාව ඒ පිළිබඳ ආසන්නතම පොලිස් ස්ථානය දැනුම්වත් කරන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පොලිස් නිලධාරීන් සිදු කරන පරික්ෂා කිරීම් වලදී  සැකයක් ඇති වුවහොත් ඔවුන්ගේ හැඳුනුම්පත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිය හැකි බව පොලිසිය විසින් ජනතාවට දැනුම් දෙනවා.
(lknews.lk)