ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධ අවසන් තීරණය අද

October 14, 2024 - 10:33 AM
මතභේදකාරී තත්වයකට මුහුණ දී තිබෙන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (14) දිනයේ දැනුම්දීමට නියමිතව තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ අද (14) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

කෙසේ වෙතත් ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන වන බව වාර්තා වනවා.

එහි ප්‍රශ්න තුනක් පමණක් පිටවී ඇති බවට සිදු කළ විමර්ශනවලදි තොරතුරු අනාවරණය වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම තත්ත්වය තුළ දැනට අත්හිටුවා ඇති පිළිතුරු පත්‍ර පරීක්ෂා කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටද නියමිතයි.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා කමිටු කිහිපයක් පත් කළ අතර එම පරීක්ෂණ කණ්ඩායම්වල අවසන් තීරණය වී ඇත්තේ විභාගයට පෙර පිටවී ඇත්තේ ප්‍රශ්න 03ක් පමණක් බවයි.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පරීක්ෂණයක් ආරම්භ කළා.

එහෙත් දෙමව්පියන් පිරිසක් අවස්ථා කිහිපයක දී මාධ්‍ය හමු සහ උද්ඝෝෂණ පවත්වමින් සඳහන් කළේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම පිටවී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ එම දෙමව්පියන් සාකච්ඡා කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අත්හිටුවනු ලැබුවා.

(lknews.lk)