ඔන්ලයින් ගිණි පොලී ණයකරුවන්ගේ කැරැට්ටුව ගැන කියන විපක්ෂ නායක

January 12, 2024 - 3:50 PM

බංකොලොත් රටේ විවිධ විදේශීය කූඨ ව්‍යාපාරිකයන් විදේශයේ සිට සහ ලංකාවට පැමිණ මාර්ගගත ණය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ගිණි පොළියක් අය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මෙහිදී ඇපය ලෙස පුද්ගලයන්ගේ ඡායාරූප පවුලේ ඡායාරූප ලබා ගන්නා අතර දවසක් හෝ දෙකක් ණය නොගෙවන්නේ නම් සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන තර්ජනය සහ අපහාස කරන බවයි විපක්ෂ නායකවරයා අනාවරණය කරන්නේ.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මහ බැංකු අධිපතිවරයා දැනුවත් කළ අවස්ථාවේ නෛතික ගැටලුවක් පවතින නිසා මෙවැනි දේ සිදුවන බව පෙන්වා දී තිබෙනවා.

ඒ අවස්ථාවේදී මහ බැංකු අධිපතිවරයා පැය 2ක පමණ කාලයක් මෙම ණය උගුලට හිරවූ පුද්ගලයන් සාකච්ඡා කළ බව සඳහන්.

එබැවින් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර මෙම ණය මෝරුන් සම්බන්ධයෙන් සොයා බලන ලෙස පිපක්ෂ නායකවරයා පවසනවා.

එමෙන්ම මේ ණය පොලීකරුවන් සියයට 300ක පොළියක් අය කරන අතර ණය ගෙවීම දවසක් හෝ පමා වුවහොත් දුරකතනයෙන් තර්ජනය කරමින් පවුලේ ඡායාරූප අසභ්‍ය රූප සමග සංස්කරණය කර සමාජ මාධ්‍ය හරහා අපහාස කිරීමට පෙළෙඹෙන බව සඳහන්.

නව නීති ගෙන ඒමේදී මෙවැනි කූඨ ව්‍යාපාර වළක්වාලමින් කටයුතු කරන ලෙසත් මොවුන් මෙරටට පැමිණි වීසා කොන්දේසි සොයා බලා වැරදි ආකාරයට සිටි නම් රටින් පිටුවහල් කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටිනවා.

මෙවැනි කූඨ ව්‍යාපාරවලින් ණය ගත් පුද්ගලයන් එම ණය නොගෙවන ලෙසයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
(lknews.lk)