එක් ජනන යන්ත්‍රයක් ජාතික පද්ධතියට එක් නොකිරීමේ තීරණයක්

December 07, 2023 - 8:48 AM
නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු අවසන් නමුත් කඩිනමින් ජාතික පද්ධතියට එක් නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ, ජල විදුලි උත්පාදනය අවශ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වීම තුළ මෙම තීරණය ගත් බවයි.

නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කරන්නේ නම් ඒ සඳහා භාවිත වන ගල් අඟුරු සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදුවන බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය ඕනෑම අවස්ථාවක ජාතික පද්ධතියට එක් කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් බවයි.
(lknews.lk)