රාජ්‍ය සේවකයන් අද ලෙඩ නිවාඩු වාර්තා කරයි

December 12, 2023 - 7:20 AM
දීපව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අද (12) දිනයේ ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
 
රාජ්‍ය සේවක වැටුප සඳහා අවම රුපියල් 20,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ. 
 
එම එක්දින වැඩ වර්ජනයට වෘත්තීය සමිති තුන්සීයකට වඩා සහය ලබා දෙන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළා. 
 
එසේම දෙසැම්බර් 13 වනදා සිය ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් අසනීප නිවාඩු වාර්තා කිරීම එක් දිනකින් අවසන් නොකරන බවද එම වෘත්තීය සමිති රජයට අනතුරු ඇඟවූවා. 
 
කෙසේවෙතත්, පාසල්, රෝහල් හා ප්‍රවාහන ක්ෂේත්‍රය හැර අනෙකුත් සියලු රාජ්‍ය ආයතන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින අතර වැඩ වර්ජනයට සහය පළ කරමින් සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට අද පෙරවරු දහයේ සිට උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර ඇති බව ද සඳහන්.
(lknews.lk)