කාර්මික නිෂ්පාදන දර්ශකයේ වර්ධනයක්

October 15, 2024 - 12:47 PM
කාර්මික නිෂ්පාදන දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී පසුගිය වසරේ අගෝස්තු මාසයට වඩා 1.2%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2023 වසරේ අගෝස්තු මාසයේ 90.2ක් වූ කාර්මික නිෂ්පාදන දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී 91.3 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එහිදී ආහාර නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ බීම වර්ග සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවල අඩුවීමක් මේ වසරේ අගෝස්තු මාසයේ දී පෙන්නුම් කරන බවයි.

මේ අතර ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ මෙරට නිල දරිද්‍රතා රේඛාව සුළු ලෙස පහළ ගොස් තිබෙනවා.

ජූලි මාසයේ රුපියල් 16,373ක් වූ දරිද්‍රතා රේඛාව අගෝස්තු මාසයේ දී රුපියල් 16,152ක් දක්වා අඩු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය 2023 වර්ෂයේ අගෝස්තු මාසයට සාපේක්ෂව ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි.

(lknews.lk)