මදයාකඩ කන්දට කුණු දැමිල්ලෙන් ප්‍රදේශවාසීන් පීඩාවට

November 29, 2023 - 6:34 PM

කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවට අයත් බල ප්‍රදේශයේ එක්වන කැළි කසල හා අපද්‍රව්‍ය කහටගස්දිගිලිය නගරයට නුදුරින් පිහිටා ඇති බොරළු කදු මුදුනකට මුදා හැර තිබීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව නගරයේ අපවිත්‍ර කැලිකසල අවිධිමත් ලෙස බැහැර කිරීමෙන්, ඒ අවට ජීවත්වන ජනතාවට පාරිසරික මෙන්ම සෞඛ්‍යාරක්ෂිත ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී ඇති බවයි රඹාවැව ගම්වැසියෝ පවසන්නේ.

කහටගස්දිගිලිය රඹෑවැව ගම්මානයේ මදයාකඩ හීන්න ගම්මානයේ පිහිටා තිබෙන බොරළු කන්දේ ස්ථාපිත කර ඇති කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව සතු ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය නිසි ප්‍රමිතියකට පවත්වාගෙන නොයන බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා රැසක් එල්ල වී තිබෙනවා.

පවුල් හාරසියයකට ආසන්න ප්‍රමාණයක් අතීතයේ සිට ජලස්නානය කිරිම, මසුන් ඇල්ලීම හා කුඹුරු වගා සිදු කිරීම සිදු කරගනු ලබන මදයාකඩ වැවේ ජල පෝෂිත ඇළ මාර්ගය හීන්න බොරළු කන්දෙන් ආරම්භ වනවා.

වසර ගණනාවක සිට කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව මගින් මෙම ප්‍රදේශයට ට්‍රැක්ටර් සහ බවුසර මගින් හින්නබොරළු කන්ද මතට බැහැර කරන ඝන අපද්‍රව්‍ය සහ ගලි මගින් ගෙනැවිත් දමන මළ අපද්‍රව්‍ය රඹෑවැව මදයාකඩ වැවෙහි පෝෂිත ඇළ මාර්ගය හරහා වැවට මුසුවීමෙන් ගම්වාසීන්ට වැව අතහැර දැමීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)