කාදිනල් හිමිගෙන් ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව පෙත්සමක්

January 24, 2024 - 11:51 AM
කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලමින්. 
 
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. 
 
අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් යුද හමුදාව,පොලීසිය සහ වෙරළාරක්ෂක බළකායට ඕනෑම පුද්ගලයකු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ බලය ලබාදී තිබෙන බවයි කාදිනල් හිමිපාණන් පවසන්නේ. 
 
මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීම නිදහස ඇතුළු මූලික අයිතීන් උල්ලංඝනය වන බවත් උන් වහන්සේ පෙන්වා දෙනවා. 
 
එබැවින් අදාළ පළාත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් කාදිනල් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
(lknews.lk)