ජනපති සහ ඉරාන විදේශ අමාත්‍ය අතර හමුවක්

February 21, 2024 - 9:48 AM
මෙරට තෙදින නිල සංචාරයක නිරත ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාව ඊයේ (20) පස්වරුවේ පැවැත්වුණා.

එම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉරාන විදේශ අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක්ද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

එහිදී ග්‍රාමීය විදුලිබල සැපයුම සඳහා තවත් යුරෝ මිලියන 31ක මුදලක් ලබා දීමටත්, එක්සත් ජනපද ඩොලර් වෙනුවට ආසියානු මුදල්වලින් වෙළඳාම් කිරීමටත් ඉරානය එකඟතාවය පළ කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළා.

එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉරානයේ බොරතෙල් හුවමාරු වෙළඳ ගිවිසුම පිළිබඳවද ඉරාන විදේශ අමාත්‍යවරයා සිය සතුට පළ කර තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාව විසින් බොරතෙල් සඳහා ඉරානයට ගෙවිය යුතු ඩොලර් මිලියන 250 වෙනුවට ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීමට ඉරානය එකඟ වී ඇත්තේ, භාණ්ඩ හුවමාරු වෙළඳ ගිවිසුම යටතේ ඉරානයට ඩොලර් මිලියන 20ක තේ මේ වන විට අපනයනය කර ඇති පසුබිමකයි.
(LKNEWS)