තිරිඟු පිටි වෙනුවෙන් නව මිල සූත්‍රයක්

October 04, 2023 - 2:35 PM
ලංකාවේ ගබඩා වල දැනට පවතින තිරිඟු පිටි ප්‍රමාණයන් පිළිබඳවද ගණනය කර, තිරිඟු පිටි ගැටලුව සම්බන්දයෙන් මාස 2ක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විගණකාධිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. 

මිල සූත්‍රයක් තිරිඟු පිටි සඳහාද පවතීනම් එක් එක් පාර්ශ්‍ව වල අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට අවස්ථාව නොලැබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. 
 
මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයී. 
 
මේ වන විට ලංකාව පුරා වෙළඳසැල් වල විවිධ මිල ගණන් යටතේ තිරිඟු පිටි අළෙවි කිරීම සිදුවන බව කමිටු සාමාජික මන්ත්‍රීවරයන් පෙන්වා දුන්නා. 
 
කෙසේ වෙතත් මුදල් ආමාත්‍යාංශය ලබා දුන් මිළ ගණන් අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 198ක මුදලකට අළෙවි කළ හැකි බවද කමිටුව නිලධාරීන්ට පෙන්වා දී තිබෙනවා. 
 
තිරිඟු පිටි මිල සැකසීමේදී මිල ගණනය කිරීම් දෙකක් ක්‍රියාත්මක වන බවත් මෙම තත්ත්වය වෙනස් කළයුතු බව සභාපතිවරයා අවධාරණය කළා. 
 
තිරිඟු පිටි සඳහා පැනවූ බදු ගාස්තු වැඩිවීම හේතුවෙන් මිල ඉහළ යාම සිදු වුවත්, එම වැඩි වූ බදු මුදල ඒ වනවිටත් මෙරට ගබඩා වල පැවති තිරිඟු පිටි සඳහාද එකතුකර මිල ඉහළ දමා ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.
(colombotimes.lk)