පොලිස් නිලධාරීන් 9දෙනකුගේ තනතුරු ජනතාව විසින් අහිමි කරයි

October 16, 2023 - 9:39 AM
පොලිස් නිලධාරීන් 9 දෙනෙකු තනතුරු වලින් ඉවත් කිරීමට ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව, පොලිස් මාධ්‍ය ඒකකය පවසනවා.

ඒ, පොලිස් ස්ථානවලට ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් මූලස්ථාන චක්‍රලේඛන සහ උපදෙස් පරිදි කටයුතු නොකිරීම හේතුවෙන්.

පොලිස් ස්ථානාධිපතිවරුන් සහ අංශ භාර ස්ථානාධිපතිවරුන්, ඒ අතරට ඇතුළත් බව සඳහන්.

පොලිස්පතිවරයා කළ නියෝගයකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා ඒ පිළිබඳව කළ පරික්ෂණයකදී එම කරුණු අනාවරණය වුණා.

ඒ අනූව පොලිස් නිලධාරීන්, ජනතා පැමිණිලි සම්බන්ධයෙන් මුලස්ථාන චක්‍රලේඛණ සහ උපදෙස් පරිදි කටයුතු නොකිරීමේ සිදුවීම් 125 ක් සම්බන්ධයෙන් පරික්ෂණ ක්‍රියාත්මක වී තිබෙනවා.

ඉන්, 84 ක පරික්ෂණ අවසන් කළ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා, 61 කට අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළා.

ඒ අතරින් සිදුවීම් 13 කට අදාළ චෝදනා සනාථ වීමත් සමඟ නිලධාරීන් 09 දෙනෙකුට චෝදනා පත්‍ර දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අවවාද පත්‍රිකා දී ඇති නිලධාරීන් සංඛ්‍යාව, 19ක්.

ඉදිරිපත් කිරීමට අපේක්ෂිත ගොනු 23 මගින් ද චෝදනා පත්‍ර සහ අවවාද කිරීම් නිර්දේශ වී තිබෙනවා.

තවත් ගොනු 41 ක් පිළිබඳ පරික්ෂණ ක්‍රියාත්මකයි.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු කරන ස්ථානාධිපතිවරුන් ඇතුලු පොලිස් නිලධාරීන්ට එරෙහිව පරික්ෂණ පවත්වා විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
(lknews.lk)